වතුර මෝටරයක් කිව්වොත් මතක් වෙන්නෙ ජිනසේන නම යි. පිටරට වලින් ගෙන්වන වතුර පොම්ප අතරෙන් ලංකාවේ වෙනත් ආයතන නිෂ්පාදනය කරන වතුර පොම්ප අතරෙන් ජිනසේන වතුර පොම්පය එදා මෙන් අදටත් සිය අනර්ඝත්වයේ අභිමානවත් නම එලෙසම රැකගෙන සිටිනවා.
දේශීය ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසයේ ජිනසේන නම හුඟක් පැරණියි. ජිනසේන ආයතනය අවුරුදු සීය සමරන්න ආසන්න යි. ජිනසේනගේ කතාන්දරය සහමුලින්ම යකඩ සහ වානේ වලින් ලියැවුණු එකක්. එපමණක් නෙමෙයි. සුද්දගෙ දැවැන්ත කොම්පැණිවල එදිරිවාදිකම් මැද්දේ අභිනව ඉහ උස්සපු සිංහල ව්‍යාපාරයක්.
ජේමිස් ඇන්තනී ප්‍රනාන්දු නමැති දරුවා උපන්නේ 1873 ජන. 13 ද මොරටුවේ විල්ලෝරාවත්තේ දී. මොරටුව ප්‍රසිද්ධ වඩු වැඩවලට. ජේමිස් ඇන්තනීගේ පවුලත් කළේ වඩු වැඩ. ජේමිස් දරුවා වැඩිදුර අධ්‍යාපනය පස්සෙ පැන්නුවේ නැහැ ඔහුට තිබුණේ අඩු යතුරු වගේ ආයුධ එක්ක හැපෙන ගායක්. මේ තරුණයා අවුරුදු 17 වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ක් ෂොප් එකට ඇතුළු වුණා. යකඩ වැඩ වලට ඇන්තනි හරි ම සූරයා. යකඩ නවන්න, කපන්න, ඇණ මුරිච්ච කපන්න ඇන්තනි ඉගෙන ගත්තේ රේල්වේ වර්ක් ෂොප් එකෙන් ඇන්නනි ඊට පස්සේ මලයාසියාවට ගියා. ඒ ගියෙන් යකඩ වැඩවලට ම තමයි. ඒ මැසියන් කොම්පනි කරපු සුද්දෝ ඇන්තනීට බොහොම කැමති වුණා. මක්නිසාද කාර්මික වැඩවල දී ඇන්තනී ළඟ තිබුණු පුදුම සහගත දස්කම නිසා. මේ තරුණයා මැලේසියාවෙන් ආපහු ලංකාවට ආවා. ආයෙ රේල්ලුවට ගිහින් වර්ක් ෂොප් එකේ වැඩ කළා. අවුරුදු 3ක් එකේ වැඩ කරල හඩ්සන් කොම්පැණියෙන් අවුරුදු දෙකකුත් ඊළඟට බ්‍රවුන්ස් කොම්පනියෙන් වැඩ කරල ආයෙමත් මැසියාවේ ටින් ආකර වලට ගියා. මේ වන විට ඇන්නනි තරුණයා ඉංජිනේරුවකුගේ තත්වයට උසස් වෙලයි හිටියෙ.
ආපසු ලංකාවට පැමිණි ජේමිස් ඇන්තනි ප්‍රනාන්දු තරුණයා පරම්පරාව හෙලවෙන වැඩක් කළා. ඔහු ප්‍රනාන්දු වාසගම අත්හැරියා. මේ ඔහුගේ ජීවිතයේ විශාල පෙරලියක්. ප්‍රනාන්දු වෙනුවට ඔහු තම වාසගම බවට පත් කර ගත්තේ ජිනසේන යන නමයි. සිංහල බෞද්ධ දේශීය ජාතිකානුරාගී ව්‍යාපාරය මේ වන විට රට පුරා මහා සුළඟක් සේ ව්‍යාප්ත වෙමින් තිබුණා. අනගාරික ධර්මපාල තුමාගේ දේශානුරාගී ව්‍යාපාරය ඔස්සේ ඉංග්‍රීසි නම් ගම් වෙනස් කරගැනීම ඇන්තනී තරුණයාට බලපාන්න ඇති. එසේ නොවුණා නම් ප්‍රනාන්දු ව්‍යාපාරයක් මිස ජිනසේ ව්‍යාපාරයක් අද නෑ
මෙතැන් සිට අප කතා කරන්නේ ඡිනසේන තරුණයා ගැන ය. ඔහු යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ තමන්ගේ ම වැඩපලක් පටන් ගන්නා. ඒ 1905 දී කොළඹ රෝහල් වීදියේ තැනක. අද රෝහල් වීදිය හඳුන් වන්නේ චැතැම් වීදිය යන නමින්. මහණ මැෂින්, මෝටර් සයිකල් අලුත්වැඩියාව තමයි ඔහු මුලින් ම කළේ. මේ කාලය වන විට රබර්, තේ, පොල් සහ මිනිරන් කර්මාන්තය ලංකාවේ ජයටම කෙරුණා. ඒවාට අවශ්‍ය යන්ත්‍රෝපකරණ පිට රටින් ගෙන්නු වේ. මේවා අලුත්වැඩියා කිරීමේ දක්ෂ කාර්මිකයන් අතර ඉහළම තැනක සිටියේ ජිනසේනයි. තමන්ගේ තරුණ වියේ දී රේල්ලුවේ වර්ක් ෂොප් එකෙත් මැලේසියාවේ කම්මල් වලත් වැඩ කිරීමෙන් ලත් පුරුද්ද නිසා ඕනෑම යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමේ හැකියාව විශේෂයෙන් තිබුණා. ගලා එන වැඩ ප්‍රමාණය වැඩි වුණා.
මිනිරන් පතල බොයිලේරු කැඩුණාම ඒවා අලුත්වැඩියාවට කෙළින්ම ආවේ ජිනසේන ළඟට. වැඩි ඉඩකඩ තියෙන තැනකට ගියොත් හොඳයි කියලා ජිනසේන කල්පනා කළා. කොළඹ රෝහල් වීදියෙන් ජිනසේන වැඩපළ හුණුපිටියට ගොඩ වැදුණේ එහෙමයි.
මේ වන විට ජිනසේන විවාහකයි. ළමයි 4 දෙනෙක් පවුලට එකතු වෙලා. ඒ ළමුන් අතරින් තිස්ස වීරවර්ධන ජිනසේන තාත්තගෙ පස්සෙන් වැටිලා යකඩ වැඩපළේ යකඩ කෑලි අතර ඇවිදිනවා. යකඩ කෝවේ දාලා උණු කරලා හයි කරලා හැඩේට නවලා පරණ මැෂින් වලට අලුත් කෑලි විදියට හයි කරන හැටි තිස්ස ජිනසේන ඕනෑකමින් බලා ඉන්නවා.
ජිනසේන තාත්තට පුතා ගැන බොහොම සංතෝෂ යි. තමන් වගේම යකඩ වලට ආස කරන මේ පුතා ජිනසේන කොම්පනියේ දෙවන පරම්පරාවේ යතුර වන බව තාත්තා හිතින් හිතා ගත්තා. තාත්තා රබර් ෂීට්ස් හදන රබර් රෝල් මැෂිමක් හැදුවා. තිස්ස ජිනසේන මේ මැෂිම අතගාල බැලුවා. ඒ රබර් රෝල් මැෂිම ලංකාව පුරා විකිනුණා.
ඊළඟට තාත්තා මිනිරන් පතලට වැඩට අවශ්‍ය මැෂිමත් හැදුවා. මේ වන විට සුද්දන්ගේ කොම්පණි කොළඹ පුරාම බොස්ටෙඩ්, කළම්බු කොමර්ෂල්, වෝකර් සහ පුත්‍රයෝ. බ්‍රවුන්ස් සමාගම, මැක්වුඩ්, හන්ටර්, හේලිස් ආදී ප්‍රධාන පෙළේ ඉංජිනේරු කොම්පැණි ඔක්කොම තිබුණේ සුද්දගේ අනේ. ජිනසේන කොම්පැණියේ අලුත් අලුත් මැෂින් හැදිල්ල මේ සුදු කොම්පැණි වලට ඇල්ලුවේ නෑ රටේ කර්මාන්ත වලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙන්වීම බෙදා හැරීම සහ ඒවා අලුත්වැඩියා කිරීමත් තිබුණේ සුදු කොම්පැණි අධිරාජ්‍යය යටතේ යි. රබර් ෂීට් හදන මැෂින් මිනිරන් පතලට අවශ්‍ය මැෂින් ලංකාවේ සිංහල මිනිහෙක් හදන කොට සුද්දගෙ මූණු රතු වුණා. සුද්දා ජිනසේන කොම්පැණියට හයිරන් දාන්න පටන් ගන්නා. නමුත් ජිනසේන පහු බැස්සේ නෑ. ඔවුන්ගේ මැෂින් සහ ඒවා අලුත්වැඩියාව විශිෂ්ට තත්වයේ තිබුණා.