මදුරුවන්ගේ දෂ්ට කිරීම්වලට ලක් නොවී සිටින පුද්ගලයන් සහ මදුරුවන්ගේ චුම්බක බවට පත්වන අය අතර ඇති වෙනසට හේතුව කුමක්ද යන්න පිළිබඳ අභිරහසක් දිගු කලක් පැවතියත් නව විද්‍යාත්මක සොයාගැනිමකින් ඒ බව අනාවරණය කරගෙන තිබෙනවා.
ඇතැම් පුද්ගලයන් ලේ උරාබොන මෙම කෘමීන්ට වඩාත් ආකර්ශනීය වීමට ඒ ඒ අය ගන්නා පානවර්ග ඇතුළු පුරුදු කිහිපයක් මත රඳාපවතින බව නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයාගත්තා.
ඒ පර්යේෂණයේදී සංගීත උළෙලකට සහභාගී වූ පුද්ගලයන් 500 දෙනෙකු යොදාගෙන ඔවුන් දහස් ගණන් ගැහැණු මදුරුවන්ට නිරාවරණය කර තිබුණා.
සියලුම පුද්ගලයන්ට ඔවුන්ගේ සනීපාරක්ෂාව, ආහාර රටාව සහ උත්සවයේදී හැසිරීම පිළිබඳ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කිරීමට ලබාදී තිබෙනවා.
ඉන්පසු ඔවුන්ගේ අත්, මේ කරදරකාරී කෘමීන් පිරවූ විශේෂයෙන් නිර්මාණය කරන ලද කූඩුවකට ඇතුල් කළ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. කූඩුවේ කුඩා සිදුරු තිබූ බැවින් මදුරුවන්ට අතෙහි සුවඳ දැනුණද, ඔවුන්ට දෂ්ට කිරීමට නොහැකියි. වීඩියෝ කැමරාවක් මගින් දෂ්ට කිරීමට උත්සාහ කළ කෘමීන් සංඛ්‍යාව වාර්තා කර තිබෙනවා.
මෙම පර්යේෂණය මගින් මදුරුවන්ගේ ආකර්ෂණයට හේතු වන පුරුදු කිහිපයක් අනාවරණය වූ බවයි පර්යේෂකයන් පෙන්වාදුන්නේ.
එහිදී බියර් පානය කළ සහභාගිවන්නන් බියර් පානයෙන් වැළකී සිටි අයට වඩා1.35% ගුණයකින් වැඩිපුර මදුරුවන් ආකර්ෂණය කර ගත් බව සොයාගෙන තිබෙනවා. මදුරුවෝ බියර් පානයෙන් වැළකී සිටි අයට වඩා බියර් පානය කළ අයට පැහැදිලි කැමැත්තක් දක්වා තිබෙනවා. බියර් වීදුරුවක් පානය කිරීමෙන් දහඩිය දැමීම සහ සිරුරෙන් එතනෝල් මුදාහැරීම සිදුවන අතර, එය මදුරුවන් ආකර්ෂණය වීමට හේතුවක් විය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.
මදුරු ආකර්ෂණයත් බෝවන සුළු බවයි පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ. එනම් පෙර රාත්‍රියේදී වෙනත් අයකු සමඟ නිදාගත් අය මදුරුවන්ගේ ඉලක්ක වීමට වැඩි ඉඩක් තිබෙනවා. එමෙන්ම තනිව නිදාගැනීම දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩු කරන බව පෙනීගොස් ඇති බව පර්යේෂකයන් පෙන්වාදුන්නා.
හිරු ආවරණ හෙවත් සන්ස්ක්‍රීන් පැළඳ සිටි පුද්ගලයින්ගෙන් මදුරුවන් වැළකී සිටි බව ද සොයාගෙන තිබෙනවා. නිතිපතා සන්ස්ක්‍රීන් ආලේප කිරීම දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩු කරන බව පර්යේෂකයෝ නිගමනය කළා.
ආසන්නතම කාලයේදී ස්නානය කළ පුද්ගලයින්ගෙන් ද මදුරුවන් වැළකී සිටි බව පර්යේෂකයෝ පැවසුවා.
ඔවුන් නිගමනය කළේ, මත්ද්‍රව්‍ය හා මධ්‍යසාරවලින් වැළකී සිටීම, තනිව නිදා ගැනීම සහ නිතිපතා සන්ස්ක්‍රීන් ආලේප කිරීම වැනි විචක්ෂණශීලී ජීවන රටාවක් මදුරු දෂ්ට කිරීම්වලට ඇති අවස්ථාව අඩුකරන බවයි.
මදුරුවන්ට "අප අතර සිටින විනය විරෝධී අය කෙරෙහි රුචිකත්වයක්" ඇති බවද ඔවුහු පැවසුවා.
මදුරුවන්ගේ හැසිරීම් පිළිබඳව මීට පෙර කරන ලද අධ්‍යයනයන් සහ මෙම අධ්‍යයනය මගින් අනාවරණය වූ වෙනත් කරුණු ද පර්යේෂකයන් හෙළිකර තිබුණා.
මදුරුවන් සාමාන්‍යයෙන් රුධිරය සෙවීමට පටන් ගන්නේ අප පිටකරන කාබන් ඩයොක්සයිඩ් (CO2) හඳුනා ගැනීමෙන්. නමුත් ඔවුන් දෂ්ට කිරීමට තීරණය කරන්නේ කවුරුන්ද යන්න සිරුරෙන් පිටකරන සුවඳ මත රඳා පවතින අතර, එය රුධිරයේ මධ්‍යසාර සාන්ද්‍රණයෙන් බලපෑම් වන්නක්. ලේ උරා බොන මෙම කෘමීන්, මිනිසුන්ගෙන් සහ සතුන්ගෙන් පිටවන CO2 හඳුනා ගැනීමට ඔවුන්ගේ මුඛය වටා ඇති සංවේදක භාවිතා කරන අතර, එම සංවේදකමශරීරයේ සුවඳ (විශේෂයෙන් පාදවල සුවඳ)හඳුනා ගැනීමටද භාවිතා කරන බව සොයාගෙන තිබෙනවා.
වෙහෙසකර ව්‍යායාමවල යෙදෙන විට ඉහළ ශරීර උෂ්ණත්වයක් සහ ලැක්ටික් අම්ලයපිටකිරීම වීම සිදුවන අතර, එමඟින් මදුරුවන්ට ආකර්ෂණීය සංඥා නිකුත් කරනවා.
මිනිස් සම මත ඇති බැක්ටීරියා මට්ටම මදුරුවන් දෂ්ට කිරීමට පොළඹවන්නක්.විශේෂයෙන්ම වළලුකර සහ පාදවල බැක්ටීරියා පොකුරු ඇති ස්ථානවලට මදුරුවන් ආකර්ෂණය වනවා. කෙසේ වෙතත්, සම මත විවිධ වර්ගයේ බැක්ටීරියා තිබීම කෘමීන්ව ඈත් කිරීමට නැඹුරුවක්.
මිනිසුන්ගෙන් 20 %ක් පමණ මදුරු දෂ්ට කිරීම්වලට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. මෙම නව පර්යේෂණය, දෂ්ට කිරීමේ වාර ගණනට රුධිර වර්ගය බලපාන බවට වනජනප්‍රිය මිථ්‍යාවන්ටසහාය වන සාක්ෂි සොයා නොගත් බවයි ඔවුන් පවසන්නේ. එහෙත්, වෙනත් පර්යේෂණ පෙන්වා දී ඇත්තේ O වර්ගයේ රුධිරයඇති පුද්ගලයින් (බහුලවම ඇති රුධිර වර්ගය) A වර්ගයේ රුධිරය ඇති අයට වඩා දෙගුණයක් දෂ්ට කිරීම්වලට ලක්වන බවයි. B වර්ගයේ රුධිරය ඇති අය මැද ස්ථානයක සිටිනවා.
මදුරුවන් කරදරකාරී දෂ්ට කිරීම්වල මූලාශ්‍රයක් වීමට අමතරව, ඒවා මැලේරියාව සහ ඩෙංගු උණ වැනි රෝග පැතිරවීමෙන් මහජන සෞඛ්‍යයට තර්ජනයක් වියහැකිය.
ඩෙංගු උණ සාමාන්‍යයෙන් කැරිබියන්, මධ්‍යම ඇමරිකාව, දකුණු ඇමරිකාව, අග්නිදිග ආසියාව සහ පැසිෆික් දූපත් ඇතුළු නිවර්තන සහ උපනිවර්තන කලාපවල දක්නට ලැබෙනවා. එහෙත්, දේශගුණික විපර්යාස හේතුවෙන්, උණුසුම් කාලගුණය බටහිර යුරෝපයේ ආසියානු කොටි මදුරුවාට සුදුසු තත්ත්වයන් නිර්මාණය කළ හැකි බවට විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබෙනවා.