පොල්ලෙන් ගසා පිහියෙන් ඇන පියෙක් පුතෙකුට වෙඩි තබයි

 

පියෙක් සිය 17 හැවිරිදි පුතාට පොල්ලෙන් ගසා පිහියෙන් ඇණ වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල කිරීමේ සිදුවීමක් පිළිබඳ පල්ලම පොලිසි වසමමෙන් වාර්තා වනවා.

මදවක්කුලම ආඩිගම ප්‍රදේශයේ පදිංචි මෙම පවුලේ නිරන්තර ගැටුම් වාර්තා වී ඇති බවයි පල්ලම පොලිසිය සඳහන් කරන්නේ.

ඉකුත් ඔක්තෝබර් 18 වැනිදා සිද්ධිය වූ අවස්ථාවේදී, මිදුලේ වාඩි වී සිටි 17 හැවිරිදි පුතාට පියා විසින් එකවරම යකඩ පොල්ලකින් කකුලට පහරදී ඇති බව සඳහන්.

මෙම පහරදීම නිසා පුත්‍රයාට යම් ආබාධ තත්ත්වයක් ඇති වී ඇති අතර, ඔහු නොන්ඩි ගසෙමින් පිටව යාමට සැරසෙද්දී පියා පිහියක් රැගෙන විත් පිහියෙන් ඇනීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී එම පවුලේ මව සහ වැඩිමහල් සොහොයුරිය මැදිහත් වී පියාගේ එම ක්‍රියාව වළක්වා ඇති බවට සඳහන්.

කෙසේ වෙතත් ඉන් නොනැවතුණු පියා, පිහිය බිම දමා ගෙට ගොස් වායු රයිෆලයක් රැගෙන විත් පුතාට වෙඩි තබා තුවාල සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ පුත්‍රයාව පසුව ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ පුත්තලම රෝහල වෙතයි.

මෙම බරපතල සිදුවීම සම්බන්ධයෙන් 61 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඊයේ (19) ඔහු රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවට පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

Post a Comment (0)
Previous Post Next Post