"තාත්තා නැති දරුවා මම හදාගත්තේ අමාරුවෙන්" - අකාලයේ මිලින වූ සිසුවාගේ අම්මා කියයි

 

"මගේ පුතාට මම හැමදාම රැකවරණය දුන්නා. අනේ එදා උදෙත් මම තංගල්ලේ පන්තියට එක්කගෙන ගිහින් පන්තියට ඇරලවලා අ‍ාවේ. පන්ති ඇරලා ගෙදර එන ගමන් යාලුවෝ එක්ක ඉස්කෝලෙ ක්‍රිකට් ගහන්න ගිහිල්ලා. පිහිණුම් තටාකයට වැටුණ බෝලය ගන්න ගිහින් තමයි පුතාට මේ කරදරේ වෙලා තියෙන්නේ. තාත්තත් නැතුව මං කොච්චර අමාරුවෙන්ද මගේ පුතා හදාගත්තේ. දෙවියනේ මගේ පුතාට මොකද මේ වුණේ?"

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකයේ ගිලී මිය ගිය ශ්‍රීහාන් විශ්මික ශෂේන්ද්‍ර දේශප්‍රිය ඉලංකනාදන් (17) ශිෂ්‍යයාගේ මව කඳුළු සලමින් පැවසුවා.

"ජයත්‍රී" නිසල උයන, දොඩම්පහළ, දික්වැල්ල.ලිපිනයේ පදිංචි ශ්‍රීහාන් දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා. ඔහුට වැඩිමහල් සොහොයුරියක් හා බාල සහෝදරියක් සිටිනවා. වෛද්‍යවරයෙකු වූ පියා මියගොස් වසර එකහමාරක් පමණ වන අතර පවුලේ බර කරට ගෙන දරුවන් රැක බලාගෙන ඇත්තේ ශ්‍රීහාන්ගේ මව වූ ඊ. බී. ජී. අනූෂා නිලන්ති (49) යි.

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ පිහිනුම් තටාකයට වැටුණු බෝලය ගැනීමට තටාකයට පැන්න ශිෂ්‍යයකු  තටාකයේ ගිලී මිය ගොස් තිබුණේ ඉකුත් 05 වැනිදා.

පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත්තේ පසුගිය ඉකුත් 05 දින සවස හයත් හයයි තිහත් අතර කාලයේදී මෙම සිසුවා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇති බවයි.

සිය ස්වාමිපුරුෂයාගේ හදිසියේ මිය යාමෙන් පසු දරුවන් තිදෙනා මහත් ආදරයෙන් රැක බලාගෙන ඇති අනූෂා නිලන්ති, ශ්‍රීහාන් පාසලට යාමේදීත්, උපකාරක පන්තිවලට යාමේදීත් ඔහු සමඟ නිතරම ගොස් තිබුණේ ඔහුට ඇති අසීමිත ආදරය නිසායි. එතරම් ආදරෙන් රැක බලා ගත් තම පුත්‍රයා හදිසියේ වෙන්ව යාම තුළ අනූෂාට ඇත්තේ දැඩි වේදනාවකි.

දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රීහාන් ඉකුත් 05 වැනිදා පෙරවරු 8.30 පමණ තංගල්ල නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගී වී තිබුණා. පසුව එදින සවස දෙකයි තිහට පමණ ඔහු සිය වැඩිමහල් සහෝදරියට දුරකතන ඇමතුමක් ලබා දී තිබුණා.

“අක්කේ, ගෙදර තියෙන පිත්තයි බෝලෙයි මගේ යාළුවෝ දෙන්නෙක් එනවා ඒ දෙන්නට දෙනවද? මැච් එකක් ගහලා එන්නම්”

ඒ අනුව ඇය නිවෙසට පැමිණී යහළුවන් දෙදෙනාට ක්‍රිකට් පිත්ත හා බෝලය ලබාදී තිබුණා.

එම මිතුරන් දෙදෙනා එය විජිත මධ්‍ය මහා විද්‍යාලයට රැගෙනන විත් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිට තිබුණා. පසුව එදින සවස 4.30ට පමණ ශ්‍රීහාන් අමතර පංතිය අවසන්ව පාසලට පැමිණ මිතුරන් හා එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණා. පැය ගණනක් සෙල්ලම් කළ ඔවුන්ගේ බෝලය තටාකයට වැටෙන්නේ සවස 6.30ට පමණ බවට වාර්තා වෙයි.

“බෝලේ ගන්න ඕන නැහැ. අපි යමු.”

මිතුරන් එකිනෙකා යෝජනා කර ගෙන තිබුණා.

“අපි යමු ‍ගෙවල්වලට රෑ ‍වෙනවා. බෝලේ ඕන නෑ”

මිතුරන් එසේ කිව්වත් ඇඳ සිටි කමිසය ගලවා ශ්‍රීහාන් තටාකයට පැන බෝලය ගැනීමට උත්සාහ දරා තිබුණා.

මද දුරක් පිහිනමින් සිටියදී ඔහු දියේ ගිලෙන්නට යාම හේතුවෙන් අපහසුවෙන් සිටින අයුරු දැක ඇති යහළුවන් දෙදෙනෙකු ද ඔහු බේරා ගැනීමට තටාකයට පැන තිබුණත් ඔවුන් දෙදෙනාද දියේ ගිලී තිබුණා.

දිය රකුසා ශ්‍රිහාන් බිලි ගනිද්දි යහළුවන් දෙදෙනා දිවි බේරා ගත්තේ ගොඩ සිටි යහළුවන් ඔවුන් දෙදෙනාව ඇද තටාකයෙන් එළියට ගත් නිසාවෙන්.

ඒ වන විටත් ශ්‍රීහාන් දියේ ගිලී තටාකයේ පතුලටම ගොස් තිබුණා.

එහි රැඳී සිටි අනෙකුත් තරුණයින්ගේ කෑ ගැසීමත් සමග ඒ වෙත දිව හා විද්‍යාලයේ ගුරු නිවාසයේ සිටින නියෝජ්‍ය විදුහල්පතිවරයා වහා පැමිණියේ මේ අවස්ථාවේදීයි.

ඔහුද කෑ ගසා ආරක්ෂක නිලධාරියා වහා එම ස්ථානයට ගෙන්වාගෙන තිබුණා.

එතනට පැමිණි ආරක්ෂක නිලධාරියා තටාකයට පැන තටාකයේ ගිලී සිටි ශ්‍රීහාන් මතුපිටට ගෙනවිත් දික්වැල්ල බතීගම දිසා රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඔහු මෙලොවට සමු දී තිබුණා.

"අපේ මල්ලිට ගොඩක් යාළුවො හිටියා. ඒ නිසා අපි නිරතුරු එයා ගැන හොඳට හොයා බැලුවා.එදා උදෙත් අම්ම මල්ලි තංගල්ලේ පන්තියට එක්කගෙන ගිහින් 11.30 වෙනකං ඉඳලා ගුරුවරුන්ට මල්ලි බාර දීලා තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ඒ අතර මල්ලි පන්තියේ ඉන්න අතරතුර මට විටින් විට කතා කළා. හතර හමාරට පන්තිය ඉවර වුණාට පස්සේ මට කතා කර අද මහන්සිත් නෑ. බඩගිනිත් නැති නිසා ටිකක් සෙල්ලම් කරලා එන්නම් කීවා. ඒ අනුව තමයි ඇවිත් විජිතට ගිහින් සෙල්ලම් කරලා තියෙන්නේ. අපි ආදරෙන් කොච්චර ආරක්ෂාව දුන්නත් අපේ මල්ලි අපිව දාල ගියා"

ශ්‍රී හාන්ගේ වැඩි වැඩි වැඩිමහල් සහෝදරිය වූ ලංකිකා ඉලංකාදන් (22) හැඬූ කඳුළින් එසේ පැවසුවා.

ශ්‍රී හාන්ගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය දික්වැල්ල හදිසි මරණ පරීක්ෂක ජයන්ත සමරසිංහ මහතා විසින් පවත්වා ඇති අතර මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ. එස්. සෙනෙවිරත්න විසින් නිගමනය කර තිබුණේ දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවයි.

හදිසි මරණ පරීක්ෂණයේදී හා පශ්චාත් මරණ පරීක්ෂණයේදී දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් 62132 තිලක සාක්ෂි මෙහෙයවා ඇත.

Post a Comment (0)
Previous Post Next Post