විවාහ වී වසර දහය පහළොවකට පසු උස්මහත් වූ දරු දෙදෙනෙකු සිටින සිය බිරියට මාපියන්ගෙන් දෑවැද්ද ලබාදෙන ලෙස ඉල්ලා කරදර කරන අපූරු සැමියෙකු පිළිබඳව අසන්නට ලැබෙන්නේ දකුණු පළාතේ ගම්මානයකිනි.
එකම ගමේ සිටින එකම වෘත්තියේ නියැළුණු මිතුරකු මෝටර් රථයක් මිලදී ගැනීම ඔහුට නොරිස්සුම් දෙන්නක් විය. ඔහුගේ බිරිය රජයේ සේවිකාවක වීම මෝටර් රථය මිලදී ගැනීමට ඔහුට රුකුලක් විය.
අසල් වැසි අපේ මිතුරා ඊට ඊඊර්ෂ්‍යාවෙන් පෙළුණේය. ඔහු නිතර දෙවේලේම කල්පනා කළේ මෝටර් රථයක් මිලදී ගැනීමටය.
සිය දෛනික අවශ්‍යතා සියල්ල පසෙකලා යතුරු පැදිය ද විකුණා දමා භාර්යාවගේ කන කරද උකසට තබා හිතවතකුගෙන් ඉල්ලාගත් අතමාරුවකින් ඔහු සිය මෝටර් රථ වාහන සිහිනය සැබෑ කර ගන්නේ ඉතිරි මුදල පොලියත් සමග වාරික වශයෙන් ලීසිං ආයතනයකට ගෙවීමේ පොරොන්දුව මතය.
බිරිය රැකියාවක් නොකළද තමාගේ වෘත්තියෙන් උපයා සපයාගත් මුදලින් ඔහු මෝටර් රථයේ වාරික ගෙව්වේය. කොරෝනා කඩා පාත්වුණේ මේ අල්ලපනල්ලේය.
එදා සිටම ඔහුගේ වෘත්තියට කණ කොකා හැඩුවේය. ඒ සමගම මෝටර් රථයේ වාරික ගෙවීම ද අපහසු විය. මෝටර් රථය විකිණීමටද නොහැකිය. සිය අසල්වැසියාගේ මෝටර් රථය දකින දකින පාරක් පාසාම තමන්ගේ රිය විකුණා දැමීමේ ඒ අදහස වෙනස් කර ගත්තේය.
ණයට ගත් මෝටර් රථය බේරා ගැනීමට ඔහු දස අතේම කල්පනා කළේය. තමා විවාහ වූ බිරියට නැන්ද මාමා දෙන්නා දෑවැද්දක් නොදුන් බව ඔහුට පසක් වූයේ එයට පෑදුණු හොඳම විසඳුමක් ලෙසය.
අදහස බිරියට කීවේය.මොන පිස්සුවක්ද මේ. දරුවොත් ලොකු මහත්වෙලාද තමුසෙට දෑවැද්ද මතක්වුණේ යැයි බිරිය ඔහුට ගෙරෙව්වේය. ඔහු ද ඊට නිකම් නොසිටියේය.
අම්මා තාත්තා දෑවැද්ද නොදුනහොත් තමුසේ මම දාලා යනවා යයි ඔහු ඊටත් වඩා සද්දෙන් ගෝරනාඩු කළේය.
මේ දෑවැදි ප්‍රශ්නය දිනෙන් දිනම උග්‍ර විය. දෙන්න දෙමහල්ලන් අතර සණ්ඩු සරුවල් එමට විය. බැරිම තැන බිරිය මේ ප්‍රශ්නය පොලීසියට ගෙන ගියාය.
අසල් වැසියා මෝටර් රථයක් ගත් නිසා සිය සැමියාටද මෝටර් රථයක් ගැනීමට අවශ්‍ය වූ බවත් ඔහු එය මිලදී ගැනීමට ප්‍රයෝජනයට ගත් උපාය මාර්ග පිළිබදවන් බිරිය පොලීසියේදී භාර්යාව දිග හැරියාය.
මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූ විට සිය සැමියා තමාගේ මවුපියන්ගෙන් දෑවැදි ඉල්ලා එන ලෙස නිතර කරදර කරන බවද ඇය හැඬු කඳුළෙන් කීවේ මෙය දැන් තමාට මෙන්ම දරුදෙදෙනාටද මහත් හිසරදයක් වී ඇති බවය.
ප්‍රේම සම්බන්ධයක් මත සිය සැමියා තමා නිවෙසින් පන්නාගෙන ආවේ දෑවැදි තියා ඉනේ තිබූ වස්ත්‍රයද එපා යයි කියමින් ඇය පොලීසිය ඉදිරියේ කී විට ඔහු ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටියේලු.