පෝෂණ ලොවේ යකඩ රැජිණ කෙසෙල්මුව

 

නවතම විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කෙසෙල් මුව ග්‍රෑම් 100 ක යකඩ මිලි ග්‍රෑම් 56.4 ක් අඩංගු වෙනවා.මේ නිසා කෙසෙල්මුව, පෝෂණ ලොවේ යකඩ නිධිය ලෙස පෝෂණ විද්‍යාඥයෝ හඳුන්වනවා.සමහරු පෝෂණ ලොවේ යකඩ රැජිණ ලෙස නම් කිරීමට පෙළඹී ඇත්තේ එහි ඇති විශාල යකඩ ප්‍රතිශතය හේතුවෙන්.යකඩවලට අමතරව කොපර් මිලි ග්‍රෑම් 13 ක් අඩංගු වනවා.ඒ වගේම කෙසෙල්මුවවල පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලනියම්, සින්ක් ඇතුළු ඛනිජ වර්ග රාශියක් අඩංගු වෙනවා.ආහාරමය කෙඳි අඩංගුවීම තවත් විශේෂ ලක්ෂණයක්.මේ හැර කෙසෙල් මුව, ප්‍රෝටීන් බහුල ආහාරයක්.විටමින් ඒ සහ සී ද අඩංගු නිසා ප්‍රතිශක්තිකාරක ගුණයක්ද තිබෙනවා.

යකඩ යනු රුධිරය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජ ලවනයක්.ප්‍රතිශක්ති පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා යකඩ අත්‍යවශ්‍යයි.රුධිරයේ යකඩ පදාර්ථ අඩුවීම ලේ හිඟකම හෙවත් රක්තහීනතාවයට බලපාන ප්‍රධාන සාධකයක්.

ශ්‍රී ලංකාවේ ගර්භණි මව්වරු සහ ළමුන් අතර බහුල ඌනතා රෝගයක් ලෙස රක්තහීනතාවය හඳුනාගෙන තිබෙනවා.පීකුදුවල මෙන් දහ ගුණයක්ද, නිවිතිවල මෙන් විසි ගුණයක්ද කෙසෙල්මුවවල යකඩ අඩංගු වේ. ලොව වැඩිපුරම කොපර් (තඹ) අන්තර්ගත ආහාරය කෙසෙල්මුව ලෙස පිළිගැනෙනවා.ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවනයක් ලෙස ඉතා ඉහළ යකඩ ප්‍රමාණයක් කෙසෙල්මුවවල අඩංගු වූවත් යකඩ අඩංගු ශාකමය ආහාර ලෙස ජනප්‍රිය වී ඇත්තේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ගයි. එනිසා කෙසෙල්මුවවල යකඩ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අප සමාජයේ ඇති මහජන සෞඛ්‍ය ගැටලුවක් වන රක්තහීනතාවය වැළැක්වීමට කළ හැකි සතුටුදායක ක්‍රියාමාර්ගයක්.කෙසෙල් මුවවල සුළු ප්‍රමාණයක් එතනෝල් අඩංගු නිසා සමහර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ද එයට තිබෙනවා.එනිසා ඇතැම් බෝවන රෝගවලින් වැළකීමට කෙසෙල්මුව ආහාරයට ගැනීම ඉතා ම ප්‍රයෝජනවත්.කෙසෙල්මුව ආහාරමය තන්තුවලින් පොහොසත් නිසා දියවැඩියාව වැළක්වීමට ඉතා ප්‍රයෝජනවත් ආහාරයක්.මෙහි ප්‍රතිඔක්සිකරක ගුණ ඉහළ නිසා පිළිකා වැනි රෝග වලක්වන අතරම අකලට වයසට යාම ද වලක්වනවා.

කෙසෙල්මුව, වතුමුව කරිය, කෙසෙල්මුව ඇඹුල, කෙසෙල්මුව අච්චාරු, කෙසෙල් මුව සලාද, කෙසෙල්මුව සම්බෝලය ආදී වශයෙන් විවිධාකාරයෙන් සකසා ආහාරයට ගත හැකියි.සාම්ප්‍රදායික ලෙස පිසින වතුමුව කරියට වඩා නව සූප ශාස්ත්‍ර ක්‍රම අනුව විවිධ තත්ත්වවලින් පිස ගැනීමෙන් කෙසෙල් මුව රසවත් කෑමක් ලෙස ආහාරයට ගත හැකියි.මෙසේ පිසගත් කෙසෙල් මුව නිතර ආහාරයට ගැනීමෙන් තමාගේ පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වාගෙන යා හැකි අතර ලෙඩ රෝගවලින් වැලකී සිටීමට හැකියාව ලැබෙනවා.කිරිදෙන මව්වරුන්ට කිරි එරෙන අතර කෙසෙල්මුවවල ප්‍රොජෙස්ටරෝන් වැඩිකිරීමේ හැකියාව නිසා ගර්භාෂය ශක්තිමත් කිරීමද ස්ජිදු කෙරෙනවා.එමෙන්ම කාන්තාවන්ගේ මාසික ආර්තවයේ දී ඇතිවන අධික රුධිර වහනය ද මෙමගින් පාලනය කරනවා. පිළිකා වලක්වනවා.රක්තහීනතාවයෙන් පෙලෙන ගර්භනී මව්වරුනට සහ ළමයින්ට ලේ හිඟකමට ඉතාමත් හොඳ පිළියමක් තමයි කෙසෙල් මුව කියලා කියන්නේ.උදරයේ ඇතිවන තුවාලවලට සහනයක් ඇති කරන අතර මළබද්ධය වළක්වනවා. අධිරුධිර පීඩනය ද පාලනය කරනවා.
කෙසෙල්මුවවල ඇති ඖෂධීය ගුණය ගැන සලකා බලන විට ලෙඩ රෝග වළක්වා නිරෝගිමත් බව ආරක්ෂා කරනවා වගේම ඇතැම් රෝගවලට ප්‍රතිකාර ලෙසත් කෙසෙල්මුව භාවිතා කරනවා.ආයුර්වේදයේ කෙසෙල්මුව ගැන සඳහන් වෙන්නේ මේ විදියට.“කෙහෙල්මුව බර ආහාරයක් වන අතර මළබද්ධය නැති කරයි. කුස ගින්න වඩවාලයි. වාත රෝග සහ පණු රෝග නසාලයි. ධාතු පෝෂණය කරන අතර රක්ත පිත සහ ලේ ගැලීම් වලක්වයි.” යනුවෙන් සඳහන් වෙනවා.කෙසෙල්මුව සිහින් කැබැලිවලට කපා කෙහෙල් දලුවල ඔතා උණු අළුපල්ලේ තම්බා මිරිකාගත් ඉස්ම අතීසාරය සහ අජීර්ණ රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවද සඳහන් වෙනවා.

අනෙකුත් එළවළු මෙන් නොව වස විෂෙන් තොර අතුරු ආබාධ සහ අසාත්මිකතා නැති කෙසෙල්මුව පහසුමිලට හෝ ගෙවත්තෙන් සපයා ගත හැකි පෝෂණ පදාර්ථ අඩංගු ඖෂධීය ආහාරයක් වෙන නිසා ම මෙවැනි ආහාර අපේ දෛනික ආහාර වට්ටෝරුවට එකතු කරගන්නට අවශ්‍ය වන්නේ ම ඒ නිසාවෙන්මයි.


️ ©️~ දීඝායු - Deeghayu 

Post a Comment (0)
Previous Post Next Post