ශරීරයට දිව්‍යමය ගුණ දෙන අළු පුහුල් දළු සහ පොතු කැඳ වට්ටෝරුව
අදින් පසු අළු පුහුල් කොළ හෝ ගෙඩියේ පොත්ත ඉවත නොදමන්න. අපේ හෙළ වෙදකමට අනුව, ශරීරයේ විෂ නසන, ගුණදායක පානයක් ලෙස මෙම අළු පුහුල් කැඳ ඉතා ප්‍රසිද්ධයි. නිවැරදිව සාදා ගන්නා ආකාරය මෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
නිවුඩු කැකුළු හාල් - මිටි 2 ක්
වතුර - කෝප්ප 2 ක්
අළු පුහුල් දළු (හෝ ගෙඩියේ පොතු) - මිටි 2 ක්
ගා ගත් නැවුම් පොල් - මිටි 2 ක්
කරපිංචා - ඉති 3 ක්
රම්පෙ - කුඩා කැබැල්ලක්
අමු ඉඟුරු - ග්‍රෑම් 5 (කලං 1)
සුදුළූණු - බික් 6 ක්
රස අනුව ලුණු
කැඳ රසවත් කිරීමට අඹරාගත යුතු සුවඳ ද්‍රව්‍ය (සරක්කු):
අබ
සූදුරු
උළුහාල්
(මේවායින් එක් එක් වර්ගයෙන්, ඇඟිලි දෙකට හසුවන ප්‍රමාණයෙන් තුන් වරක් ගන්න.)
මාදුරු - ඇට 5 ක්
ගම්මිරිස් - ඇට 5 ක්
කරදමුංගු - කරල් 1 ක්
කරාබු නැටි - 1 ක්
කුරුඳු පොතු - කුඩා කැබැල්ලක්
සාදාගන්නා ආකාරය:
බත පිසීම: පළමුව, නිවුඩු හාල් හොඳින් සෝදා වතුර කෝප්ප දෙක දමා ඉතා හොඳින් බෙරි වන සේ පිස, පසුව හැන්දකින් පොඩි කරගන්න.
සුවඳ ද්‍රව්‍ය ඇඹරීම: ඉහත "සරක්කු" යටතේ ඇති අබ, සූදුරු, ගම්මිරිස් ඇතුළු සියලුම ද්‍රව්‍ය එකට දමා හොඳින් අඹරා පේස්ට් එකක් සාදාගන්න.
ඉස්ම සකස් කිරීම: අළු පුහුල් දළු (හෝ පොතු), ගා ගත් පොල්, කරපිංචා, රම්පෙ, ඉඟුරු සහ සුදුළූණු වංගෙඩියක දමා හොඳින් කොටාගන්න. ඉන්පසු, එයට වතුර බෝතල් 1½ ක් පමණ ටිකෙන් ටික එක් කරමින්, එම ද්‍රව්‍යවල ඉස්ම හොඳින් මිරිකා පෙරාගන්න.
කැඳ පිළියෙල කිරීම: දැන්, පොඩි කරගත් බතට, පෙරාගත් පුහුල් ඉස්ම ටික එකතු කරන්න. ඉන්පසු, අඹරාගත් සුවඳ ද්‍රව්‍ය පේස්ට් එකද එයට දමා හොඳින් දියකරන්න.
මෙම මිශ්‍රණය ලිප තබා විනාඩි 5ක් පමණ මඳ ගින්දරේ හැඳිගාමින් උතුරුවා ගන්න. අවසානයේ, රස අනුව ලුණු එක්කර ලිපෙන් බා ගන්න.
මඳක් නිවුණු පසු පානය සඳහා ගන්න.
මෙම ඖෂධීය පානයෙහි ගුණ:
මත්ද්‍රව්‍ය, අබිං සහ අත්තන වැනි දේ නිසා ශරීරයේ ඇතිවන විෂ නැසීමට උපකාරී වේ.
අර්ශස් රෝගය නිසා ඇතිවන දැවිල්ල සහ රත්පිත සමනය කරයි.
ඊයම් සහ ඇලුමිනියම් වැනි ලෝහ ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන අයට ශරීරයේ තැන්පත් විය හැකි විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ.
කර්තෘ: ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී