හදවත සුරකින දිව ඔසුව කුඹුක්

කුඹුක් ගස් සෙවණ යට මොහතක් රැඳී විඩාව සන්සිදු වූයේ නම් ගසක් යට සිටියේ නම් මෙම සොඳුරු වෘක්ෂය අමතක නොකරන බව සැබෑවය. ඒ තරමට අපගේ ජීවිත සමඟ බැඳී ඇති ඉහළ ඖෂධීය වටිනාකමකින් හෙබි වෘක්ෂයක ආයුර්වේදයේ රෝග රැසකටම සුවය ලබාදෙන ඉතා වටිනා ඖෂධයකි.

අද වන විට මෙම වටිනා වෘක්ෂය අප පරිසරයෙන් ඉවත් වෙමින් පවතී. ඉවුරු ආසන්නයේ වැව් ඇති ගස් ඉවුරු කඩාගෙන යෑමෙන් විනාශ වෙන අතර මිනිසුන්ගේ අවිධිමත් ගස් කැපීම හේතු කොට ගෙන කුඹුක් ගසට අවාසනාවන්ත කාලයක් උදාවී ඇත. මේ පිළිබඳව පරිසරයට ආදරය කරන බලධරයින් පාලකයන් සිටි නම් මේ පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතුව ඇත. යුතුකම පෙරදැරිව වන සම්පත අප පරිසරය රැකගන්න ඉදිරියට එන්න.

කුඹුක් ගස ඇළ දොළ ලිං පොකුණුවල ජලය පිරිසිදු කරන සුවිශේෂී ගුණයකින් හෙබි සියලූ සත්වයාගේ යහපත පිණිස ලොවට දායාද වූ වෘක්ෂයකි. රෝග රැසකටම ගුණ දෙන ඔසුවක් ලෙස ප්‍රකටව ඇති කුඹුක් ඖෂධීය වශයෙන් ද මෙම රෝග සඳහා භාවිතා කර ඇත. ඒ අතරින් ස්නායු දුබලතා කාන්තා ප්‍රදර රෝග, හෘද රෝග, රක්ත රෝග සුවිශේෂ වේ. තවද එළකිරිවලට කුඹුක් පොත්තක් දමා කකාරා ගත් විට සෙම් ගතිය අඩුවේ. සෙම අධික රෝගීන්ට මෙය ඉතාම වටී.

කුඹුක් මුල් පොතු කොළ ගෙඩි මල් දළු ඖෂධ වශයෙන් යොදා ගැනෙති. පොතු ගැනීමේදී රතු හෝ රෝස පැහැ වූ මේරූ පොතුම ගත යුතුය.

කුඹුක් වෘක්ෂයේ අන්තර්ගත රසායනික සංයෝග

පොත්තේ ශර්කරා ටැනින් කැල්සියම් සෝඩියම් කාබනෙට් ග්ලූකොසයිඞ්, ඇල්කලයින් ක්ලෝරයිඞ් පොතු යුෂ වල කැල්සියම් සහ ලවන 23% ක් අඩංගුය. කුඹුක් පොතු භස්මයෙහි කැල්සියම් කාබනෙට් 34% ක් ඇත. ඝෝෂාල් නම් රසායනික විද්‍යාඥයාගේ පර්යේෂණ අනුව වර්ණ කර පදාර්ථ ග්ලූකොසයිඞ් කොටස් කැල්සියම් කාබනෙට් සෝඩියම් කාබනෙට් අන්තර්ගතය.

කුඹුක් ඖෂධීය වශයෙන් සැලකීමේදී ගුණ කර්ම රසයෙන් – කෂාය ගුණයෙන් – ලඝ හා රුක්‍ෂය විර්යෙන් – ශීතය විපාකයෙන් – කටුකය, ප්‍රභාවයෙන් – හෘදය වේ. දෝෂ අනුව සැලකීමේදී කෂාය රසයෙන් හා ලඝු රුක්‍ෂ ගුණවලින් යුක්ත වන හෙයින් සෙමද ශීත වීර්ය නිසා පිත ද ශමනය කරයි. ඒ නිසා සෙම් පිත් දෙකෙන් උපදින රෝග සඳහා යොදති.

මෙය කෂාය රස නිසා රක්ත ස්තම්භන (ලේ නතර කරන ගුණය ඇත. සන්ධනීය හා ව්‍රණ රෝපණ ගුණයද නිසා ලේ නතර කිරීමට හා ව්‍රණ සඳහා කුඹුක් පොතු ස්වරසය හෝ චූර්ණය හෝ යොදනු ලැබේ.කෂාය රසයෙන් යුක්ත නිසා ස්තම්භන ගුණය ඇති බැවින් රක්ත අතීසාර සහ රක්ත අර්ශස් සඳහා යොදයි.මෙයින් හදවතේ පෝෂන ක්‍රියාව හොඳ අතට හැරේ හෘද මාංශ පේශි ශක්තිමත් වේ. හෘද ස්පන්දනය ක්‍රමවත් වේ. ස්පන්දනයේ සංඛ්‍යාව අඩුවේ. සියුම් ලේ නළ හැකිලෙයි. ලේ වැඞීම සිදුවේ. හෘද රෝග ලේ ආශ්‍රිත ආබාධ රත් පිත් ඉදිමුම් ආදිය සඳහා ප්‍රයෝග කෙරේ. කුඹුක් කෂාය රසය නිසා සෙම් නසයි. කුඹුක් ක්‍ෂෙයජ කාෂයේ දී ද රක්ත පිත්තයේ ද යොදනු ලැබේ. මේ මගින් ලේ ගැලීම වළකයි. පපුවේ දැවිල්ල නතර වෙයි. කැස්ස අඩුවෙයි. කුඹුක් පොතු පිටිකර පාවට්ටා යුෂයෙන් භාවනා දී ගෙන සීනි මීපැණි හා ගිතෙල් සමඟ ගැනීමෙන් ක්‍ෂයජ කාසය ශමනය වේ.

කුඹුක් කෂාය රසය නිසා මුත‍්‍ර සංග්‍රහණිය හා ශාමක ගුණ දේ. මේ නිසා ප්‍රමේහයේදී උපයෝගී වේ. මේ මගින් මුත‍්‍ර කෘච්ඡ්‍රය ද ශමනය වේ.මෙහි ස්තම්භන ගුණ ඇති නිසා රක්ත ප්‍රදර හා ශ්වේත ප්‍රදර සඳහා ඉතා ගුණදායක ය. සුදු හඳුන් සමඟ සම සමව කුඹුක් පොතු ගෙන කෂාය කර දීමෙන් ශුක මේහය ශමනය වේ.

කුඹුක්වල උණ නශන ගුණ නිසා කල්ගත වූ උණ රෝගියෙකුට යෙදූ විට උණ ශමනය වී ශරීර ශක්තිය රැකදෙයි.කෂාය රසයෙන් අනූන නිසා කුඹුක් සන්ධානිය. මේද හර හා විෂඝන ගුණද බලකාරි ගුණය ද පවතී. කෂාය රස හා රුක්‍ෂ ගුණය ද නිසා මෙය මෙදෝ රෝගයේදී යොදනු ලැබේ.


කුඹුක් අඩංගු ඖෂධ යෝග


කුඹුක් දළු මැල්ලම මල බද්ධය නසා ආයුෂ වැඩි කරන බව දක්වයි.

කුරුළෑ පීඩිකා සඳහා – කුඹුක් පොතු මීපැණියෙන් ගලගා කුරුළෑ මත ආලේප කිරීම

ශරීර ශක්තියට – කුඹුක් පොතු කෂාය බීමට දෙයි.

සමේ රෝග කැසීම් ආදියට සියලූම සමේ ආබාධ සඳහා යෝග්‍ය වේ.

රත් පිතට – කුඹුක් ශීත කෂාය යොදනු ලැබේ. ශුක්‍රමේහයට ශ්වේත ප්‍රදරයට කුඹුක් පොතු සුදු හඳුන් කෂාය ගුණ දේ.

පොදුවේ සෑම හෘද රෝගයකටම රෝග අවස්ථාව අනුව ගුණදායක වුවත් යොදන මාත‍්‍රාවට අනුව එහි ගුණ අගුණ වෙනස් වෙයි. හෘදය උත්තේජනය කරන හෙයින් අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට කුඹුක් ගුණදායක නොවේ. සිරුර අධිකව දුබල වූ විට හෘද ශක්තිමත් කිරීමටත් හෘද ස්පන්දනය වැඩි වූ විට එම තත්ත්වය අඩු කිරීමටත් කුඹුක් පොත්ත මහඟු ඖෂධයකි. කුඹුක් වල ස්වල්ප මාත‍්‍රාව තුළින් හෘද උත්තේජනය කරයි. අධි මාත‍්‍රාවෙන් හෘද දුබල කරයි.


කුඹුක් වල ඖෂධීය මාත‍්‍රා

පොතු චූර්ණය – රක්තිකා 12 – 16 දක්වා

තරල සාර – ග්‍රෑම් 1 – 2 දක්වා

පොතු පාණ්ඩය – කර්ෂ 2-4 දක්වා වේ 

Post a Comment (0)
Previous Post Next Post