අද (10) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත, ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙම පනත මගින් හිටපු ජනාධිපතිවරුන්ට හිමිව තිබූ අධික වියදම් සහිත වරප්‍රසාද සීමා කිරීම අපේක්ෂා කෙරේ
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාවෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව, 2024 වසරේ හිටපු ජනාධිපතිවරුන් සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල රුපියල් 98,548,839 (නව කෝටි අසූ පහ ලක්ෂ හතළිස් අට දහස් අටසිය තිස් නමයකි).
මෙම වියදම් වෙන් කර ඇත්තේ මෙලෙසින්:
- චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග – රුපියල් 11,664,348
- මහින්ද රාජපක්ෂ – රුපියල් 54,652,990
- ගෝඨාභය රාජපක්ෂ – රුපියල් 15,772,450
- මෛත්‍රීපාල සිරිසේන – රුපියල් 10,222,881
- රනිල් වික්‍රමසිංහ – රුපියල් 3,492,309
ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි 2ක් ලෙස සලකා බැලූ විට, මෙම පනත සම්මත වීමෙන් රටේ එක් පුරවැසියෙකුට වසරකට ලැබෙන ආසන්න වාසිය රුපියල් 4.93ක් පමණ වේ.
2025 වසර සඳහා ශ්‍රී ලංකා රජයේ අපේක්ෂිත මුළු වියදම රුපියල් බිලියන 7,190කි. හිටපු ජනාධිපතිවරුන් සඳහා 2024 වසරේ වැය කළ මුදල (රුපියල් 98.548 මිලියන) මෙම අයවැය වියදමෙන් සියයට 0.0014%ක ප්‍රතිශතයකි.
මෙම මුදල සුළු ප්‍රමාණයක් ලෙස පෙනුනත්, සමස්තයක් ලෙස සැලකීමේ දී රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස මෙය සැලකිය හැකිය.