මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි තලාතුඔය පොලීසිය පවසනවා.
අනතුර අද පස්වරු 5.00 ට පමණ සිදුව තිබෙන අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා තලාතුඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ තුවාල ලබා රෝහල් ගතකර සිටින කාන්තාව අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ බවයි.
ඔවුන් කටුගස්තොට අලදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මයිලපිටියේ ඥාති නිවසක පැවැති දානමය පිංකමකට සහභාගි වීමට ගොස් ආපසු එමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගයට වැටී තිබුණු විශාල ගලක ත්‍රිරෝද රථය ගැටී මාර්ගයේ අනෙක් කෙළවරට ගමන් ගනිත් දී විරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයේ එය ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.
වෑන් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තලාතුඔය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.