පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ බව පැවසූවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි.
වැඩි දුරටත් කරුණු දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
”ජාතික පාසල්වල පමණක් පුරප්පාඩු 1,501ක් තිබෙනවා. පළාත් පාසල්වලට අදාළව බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්, දකුණු පළාතේ 2,513ක්, මධ්‍යම පළාතේ 6,318ක්, වයඹ පළාතේ 2,990ත්, ඌව පළාතේ 2,780ක්, උතුරු මැද පළාතේ 1,568ක්, නැගෙනහිර පළාතේ 6,613ක්, සබරගමුව පළාතේ 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් වාර්තා වී තිබෙනවා. ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිතයි.”
මේ අතර පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එකී පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.