සුදු රෙද්දක් ඇගේ දාගෙන මාමන්ඩියට හොල්මන් පෙන්නූ ලේලියට කලකම් පලදෙයි

 

වයස්ගත මාමණ්ඩිය නිවෙසින් එළවන්න ගිය ලේලියකට නිවෙසින් යන්න සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්න ලැබේ.

මහ ගෙදරය. සිටියේ පවුලේ බාලයා සහ ඔහුගේ භාර්යාව සහ ඔවුන් දෙදෙනාගේ එකම පිරිමි දරුවාය.

මහ ගෙදර ඔවුනට ඉන්න හිටින්න ලැබුණේ පියා බලා ගැනීමේ පොරොන්දුව මතය. බඩපිස්සා පියා හොඳින් බලා ගත්තේය. ඔහුට අනුගමනය කරමින් ඔහුගේ භාර්යාව ද මා මණ්ඩියට කිසිදු අඩුවක් නැතිව සැලකුවේය. මේ අතරවාරයේදී බඩ පිස්සා රට ගියේය. ඒ, ඔවුනගේ පවුලේ ආර්ථිකය ඉහළ දමා ගැනීමේ අරමුණෙනි. එවිට මහගෙදර ඉතිරි වූයේ ලේලියන්, දරුවාත්, මාමණ්ඩියන් පමණි. සැමියා රට ගිය පසු ඇයට මාමණ්ඩිය බරක් විය.

එයට හේතු රැසකි. එකක්, වයස්ගත මාමණ්ඩිය රෑට රෑට නිදි පැදුරේම මුත්‍රා කිරිමය. ඇයට සිතූ සිතූ ගමන් බිමන් යෑමට නොහැකි වීම ද තවත් හේතුවකි. කොහේ ගියන් ඇයට කෙටි වේලාවකින් සිය නිවෙසට ඒමට සිදු වූයේ වයස්ගත මා මණ්ඩියට කෑම බීම දීමට සිදුව ඇති නිසාය. රෑ පුරාම නිදි වර්ජිතව සිටි මාමණ්ඩිය ශබ්ද නගා ගාථා ශොලෝක කීම ද මේ අතරය. තවත් හේතු ඊට නොතිබුණාම නොවේ.

මේ අතරේදී මහ රෑ යක්කු ගස් නගින වේලාවට රෑට රෑට මාමණ්ඩිය හොල්මනක් දකින්නට විය. සුදු රෙද්දකින් වසා ගත් අයකු තමා ඉදිරියේ පෙනී සිට අතුරුදන් වීම මේ හොල්මනය. ඇවිදගෙන යාමට නොහැකිව සිටි මාමණ්ඩිය මේ හොල්මන දැකීමත් සමගම හොඳටම බිය වූවේය. ඒ එක්කම මහා හයියෙන් ඔහු කෑගැසුවේය. ඒ වේලාවට ලේලිය මේ වයස්ගත මාමණ්ඩියට සැර වූවාය. " මේ මොන හොල්මන ද? මේ ඇති හොල්මනක් නැහැ" කියමින් ඇය මහ රෑ බෙලිකටු මල්ල සෙල වූවාය.

අවසානයේදී මේ හොල්මන නිසා හොඳටම බය වුණු මාමණ්ඩිය දිග ගිය සිය දරුවන් සිව් දෙනා මහගෙදරට කැඳවා තමා රෑට රෑට දකින හොල්මන ගැන කීවේය. ඒ අවස්ථාවේදී ලේලිය සහ ඔහුගේ සුරතල් සිඟිති පුතු ද එහි වූහ. " අනේ මොන හොල්මනක් ද, සීයාගේ කාමරය ළඟට සුදු රෙද්දකින් ඔළුව වසාගෙන යන්නේ අපේ අම්මානේ" යයි සිඟිති පුතු කට ඇද කර කර කීවේ හැමදෙනාගේම දෑස් නෑණන්ඩිය වෙතට යොමු කරවමිනි. හොල්මන් කතාව දරුවෝ සියලු දෙනාටම තේරුම් ගියහ. නෑණන්ඩියට වහාම නිවෙසින් පිටව යන්නට ඔවුහු කීහ. පියා බලා ගැනීමට කුලියට කෙනෙකු මහගෙදර නතර කිරීමට දරුවන් සියලු දෙනාම කතිකා කරගත්තේලු.

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත

Post a Comment (0)
Previous Post Next Post