දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු සහ අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව මෙම අයදුම්පත් කැඳවා ඇත.
මෙහිදී ප්‍රධාන වශයෙන් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් යටතේ සුදුසුකම් ලබන්නන් වර්ගීකරණය කර තිබේ. සියලුම සුදුසුකම් පරීක්ෂා කිරීමේදී පදනම් කරගන්නා මූලික දිනය ලෙස 2023.02.10 දින සලකා බලනු ලබයි.
අංක 2474/18 දරන ගැසට් නිවේදනය යටතේ, 2023.02.10 දින වන විට රාජ්‍ය සේවයේ නියුතුව සිටි සහ දැනටමත් සේවයේ නිරත නිලධාරීන්ට අයදුම් කළ හැකිය. ඔවුන් එම පදනම් දිනය වන විට වයස අවුරුදු 45 ට නොවැඩි විය යුතු අතර, එදිනට සිය උපාධි සුදුසුකම් ද සම්පූර්ණ කර තිබීම අනිවාර්ය වේ.
අංක 2474/19 දරන ගැසට් නිවේදනය මඟින් කාණ්ඩ හතරක් යටතේ වයස අවුරුදු 40 ට අඩු උපාධිධාරීන්ට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව, රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන්, 2023.02.10 දිනෙන් පසු රාජ්‍ය සේවයට එක්වූවන්, එම දිනයට පෙර සේවයේ සිට පසුව ඉල්ලා අස්වූවන් සහ 2023.02.10 දිනට පසු උපාධි සුදුසුකම් ලැබූ රාජ්‍ය නිලධාරීන්ට මේ යටතේ අයදුම් කළ හැකිය.
මීට පෙර 2023 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව අයදුම්පත් යොමු කර ඇති රාජ්‍ය නිලධාරීන් නැවත අයදුම් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එහෙත් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු (ලිපිනය, දුරකථන අංක ආදිය) වෙනස් වී ඇත්නම් පමණක් විභාග දෙපාර්තමේන්තුව හරහා ඒවා සංශෝධනය කර ගැනීමට හෝ අයදුම්පත්‍රය බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
මෙම ගැසට් නිවේදන සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා (සිංහල – 0112-784819/ 0112-785634/ Hotline 1988) – (දෙමළ – 0112-785634), (ඉංග්‍රීසි – 0112-785258/ 0112-784819/ 0112-787399) – (වැඩකරන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා) ඇමතීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.