මිහින්තලේ සුදුතාත්ති පාසල් යන පෙම්වතියට දවල්තරුපෙන්නයි



පෙම් සබඳතා බිඳ වැටෙන අවස්ථාවලදී සමහර පෙම්වතුන් පෙම්වතියන් අතර ඇති වෙන්නේ සදාකාලික වෛරයකි. බිඳුණු සබඳතා පසු කාලයක පෙම්වතියටත් පෙම්වතාටත් සමහර අවස්ථාවලදී බරපතළ අපහසුතා ඇති කරවයි. අන්තර්ජාලය මේ කර්තව්‍යයට ලොකු දායකත්වයක් ලබා දෙයි.

ප්‍රේම කරන කාලයේ ගත් ඡායාරූප නිදහසේ කාලය ගත කළ හැටි සහ ඊටත් වඩා එහාට ගොහින් කළ කී දෑ බොහෝ අවස්ථාවලදී පෙම්වතුන් පෙම්වතියන්ගේ ජංගම දුරකථන වල ගබඩා වී ඇත. මේවාට ' පණ ' එන්නේ ප්‍රේම සබඳතා බිඳුණු මොහොතේ පටන්ය.

පෙම් සබඳතාවය බිඳ වැටෙන මොහොතේ පටන් ඇතැම් පෙම්වතුන් පෙම්වතියට වෛර කරති. එසේ නොකරන අයද නැත්තෙම නැතත් වැඩි පුරම ඇත්තේ තමා හැර ගිය පෙම්වතියට අකුල් හෙළන අයයි. පෙම්වතියගේ නිරුවන් ඡායාරූප සන්තකයේ ඇති පෙම්වතුන් අන්තිමේදී ලෝකයාටම තමා හැරගිය පෙම්වතියගේ නිරුවතපෙන්වීමට ගත කරන්නේ විනාඩියකටත් අඩු කාලයකි.

තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරුවන අයුරු දකින ඕනෑම යුවතියකට දැනෙන්නේ අපමණ වේදනාවකි. මෙවැනි සිදුවීම් සිය දහස් ගණනක් මේ වන විට සිදු වී හමාරය. පොලිසිය, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය මෙවැනි පැමිණිලි රැසක් මේ වන විටත් විමර්ශන කරමින් සිටී.

තමන් කොපමණ ආදරය කළත් පෙම්වතා හෝ කිසිම අයකුට තමන්ගේ නිරුවත් ඡායාරූප ලබා නොදිය යුතු බව තරුණියන්, සිසුවියන්, යුවතියන්, තරුණ කතුන්ට පොලිසිය, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරින් සම්මන්ත්‍රණ, වැඩමුළු, මාධ්‍ය සාකච්ඡා පවත්වා අවධාරණය කර ඇතත් ඇතැමුන් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගැනීම නිසා අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ නිකරුණේය.

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමනවා කියා බය කර ඇගෙන් කප්පම් මුදල් හෝ සිය ලිංගික ආශාවන් සම්පූර්ණ කර ගන්නා පෙම්වතුන් ද නැත්තේම නැත. මේ කතාව ද එවැන්නකි. වාර්තා වූයේ අනුරාධපුර දිසාවේ මිහින්තලේ පොලිස් ස්ථානයෙනි.

ඇය මිහින්තලේ ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි. ඇය පෙමිවනකු ඇසුරු කරන්නේ මේ වසරේ මුල සිටය.

මේ දෙදෙනාගේ ප්‍රේම සබඳතාවයට මාස හත අටක් ගත වන්නේ ඔය අතරතුරේදීය. සිසුවිය තම පෙම්වතාට ආදරය කෙළේ කෙදිනක හෝ ඔහු තමාගේ සැමියා වනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

පාසල්වියේ හටගන්නා පෙම් සබඳනා වලට වැඩි ආයුෂ නැතැයි කතාවක් ඇත. සිසුවිය සහ පෙම්වතාගේ 'ආදර කතාවට ද දින සති මාස ගණන් ගනටෙද්දී පෙම්වතාගේ කිසියම් වෙනසක් සිසුවියට නිරීක්ෂණය විය. ඇය ඒ ගැන දැඩි අවධානයෙන් සිටියාය. ඒ අතරේ සුවිශේෂ දෙයක් විය. ඒ පෙම්වතා ඇය අතහැර යාමයි. ඊට විශේෂ හේතුවක් තිබුණේ නැතත් සිසුවිය ඒ ගැන දුකෙන් කනගාටුවෙන් කල් ගෙව්වාය.

මේ අතර සිසුවිය හැර ගිය පෙම්වතා ඇයට දින කීපයකට පසු දුරකන්න ඇමතුමක් දුන්නේ සිසුවිය බලාපොරොත්තු නොවූ ආකාරයටය. පෙම්වතාගේ ඇමතුම ඇගේ සිතට සහනයක් ගෙන දුන්නද ඔහු කී දෙයින් ඇය තුෂ්ණිම්භූත වන්නේ ඊළඟ මිනිත්තු කීපයේදීය.

සිසුවියට දුරකතන ඇමතුමක් දී තර්ජනය කරන හිටපු පෙම්ටනා කියන්නේ සිසුවියගේ නිරුවත් ඡායාරූප ඔහු සන්තකයේ ඇති බවකි. ඉන් නොනැවතුණු ඔහු සිසුවියට පවසන්නේ තමාට මුදල් අවශ්‍ය බවකි. නොඑසේ නම් සිසුවියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් සමූහයකට එක්කාසු කරන බව ඔහු පවසන්නේ සිසුවිය බරපතළ මානසික පීඩනයකට ලක්කරමිනි.

පෙම්වතාගේ මේ කුරිරු ක්‍රියාවෙන් කම්පනයට පත් වූ සිසුවිය තමන්ගේ ආත්ම ගරුත්වය බේරා ගැනීම සඳහා පෙමිවතාට මුදල් ලබාදීමට තීරණය කළාය. මේ තිරිසන් පුද්ගලයාට මුදල් ලබා නොදුනහොත් ඔහු කී ආකාරයටම තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට නොපැකිළෙන බව ද ඇය දැන සිටියාය. මිහින්තලේ නගරයේ ඒ. ටී. එම්. යන්ත්‍රයකින් රුපියල් 4000ක් ගත් සිසුවිය එය පෙම්වතාට යැව්වාය. එහෙත් මේ පෙම්වතා ඉන් සෑහීකට පත්වූයේ නැත. ඔහු දිගින් දිගටම මුදල් ඉල්ලා පෙම්වතියට කරදර කෙළේ මුදල් නොදෙන්නේ නම් ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන බවට තර්ජනය කරමිනි.

පෙම්වතාගේ තර්ජනයට බිය වූ සිසුවිය නැවත රුපියල් 5000ක් ඔහුගේ ගිණුමට බැර කළාය. මෙලෙස අවස්ථා පහකදී මේ සිසුවිය හිටපු පෙම්වතාගේ තර්ජනයට බියෙන් ඔහුට රුපියල් 34,500 ක් යවා තිබිණි.

රුපියල් 34,500 ක් පෙම්වතිය බිය ගන්වා ලබාගත් සාහසික පෙම්වතා ඉන් සෑහීමකට පත්වූයේ නැත. ඔහු රුපියල් 30,000 ක් පෙමිවතියගෙන් නැවත ඉල්ලුවේ එය ලබා ගැනීමේ අරමුණෙනි. සිසුවිය ඒ වන විට මහත් ආතතියකට පත්ව සිටියාය. ඒ තිරිසන් පෙම්වතාගේ ක්‍රියාව නිසාය. පෙම්වතාගෙන් කිසිදෙනෙක ගැළවීමක් තමාට නැති බව සිසුවියට ඒ වන විට වැටහී තිබිණි. ඔහු තමාගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තමාට කරන තර්ජනය ද කිසි දිනෙක නතර නොකරන බව ද සිසුවියට වැටහී තිබිණි. අන්තිමේදී ඇය තීරණයකට එළැඹියාය. ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. තමන්ගේ මව්පියන්ට මේ ගැන තොරතුරු හෙළි කළ සිසුවිය ඉන් අනතුරුව යන්නේ මිහින්තලේ පොලිසියටය.

පොලිස් පොතේ පැමිණිල්ල සටහන් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ වූ අතර සිසුවිය මේ ගැන පොලිසියට පැමිණිලි කළ බව දැනගත් පෙම්වතා ප්‍රදේශය අතහැර පලා ගියේය.

සිසුවිය පෙම්වතාට ආදරයට අමතා ඇත්තේ 'සුදු තාත්තා' ලෙසය. ' සුදු තාත්තා' අල්ලා ගැනීම සඳහා මිහින්තලේ පොලිසියේ කණ්ඩායමක් මේ වන විට දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇත.


Post a Comment (0)
Previous Post Next Post