නිල්මිණි මැදිවියේ පසුවන කාන්තාවක් වුවත් වරක් දුටු අයෙකුට නැවත වරක් බලන්නට හිතෙන තරමේ රූ සපුවකින් හෙබි තැනැත්තියකි.
මහ මග අසල වූ තේ කඩය ඇයගේ නිවහන පමණක් නොව ජීවනෝපාය සලසා ගන්නා ස්ථානයද විය.
පාසල් යන දැරුවන් දෙදෙනෙක්ගේ මවක් වූ ඇය තම ස්වාමි පුරුෂයාගේ හදිසි අභාවයෙන් පසු කිසිවෙකුට අතනොපා ජීවිත සටනින් ජය ගැනීමට රැය දහවල් නොබලා වෙහෙසවී වැඩ කළ දිරිය මටකි.
තම තේ කඩයට තේ බීමට ගොඩවදින කා සමඟ වුවන් සිනාවෙන් පිරුණ මුහුණින් යුතුව විහිළු තහළු වලින් හා විනෝදෙන් යුතුව පිළිගැනීම ඇගේ නිහතමානී බවේ ලක්ෂණයක් වූ අතර වෙළඳාමේ දියුණුවට ද එය හේතුවක් විය.
එම කඩයට තේ බීමට එන අයගේ අඩුවක්ද නොවීය.
ආප්ප, පිට්ටු, ඉඳි ආප්ප, හැලප හා ලැවරියා ආදී ගමේ කෑම වලින් අඩුවක් නොවුණ ඇගේ තේ කඩයේ මුළු දවස තිස්සේම ඇය සියතින්ම වැඩ කටයුතුවල නිරත වූවාය.
එම මාර්ගයේ යාන වාහන වලින් මහ මග යන එන්නන් පවා ඇගේ තේ කඩයට ගොඩවැදී තේ එකක් බී යෑම පුරුද්දක් කොටගෙන තිබුණි.
මේ අතර එක් දිනක් වාහනය නතර කර පැමිණි තලතුනා වයසේ පිරිමින් දෙදෙනෙක් " ආ.. නිල්මිණි අක්කේ. කොහොමද අද ආප්ප එහෙම, දාන්න අපිට බිත්තර ආප්ප දෙකක් " යැයි පවසමින් ඇය ආප්ප පුච්චමින් සිටි උඳුන අසලින් යන විට ඇගේ පිටු පසට තට්ටුවක් දමා මේසය අසල වූ පුටුවකට බරවීය.
ඒ වගේ වැඩක් කිසි ගණනකට නොගත් ඇය දෙදෙනාටම බිත්තර ආප්ප වලින් යුසුලුව සංග්‍රහ කළාය.
කා බී අවසානයේ " කීයද අපේ ගණන" කියා එක් අයෙක් විමසුවෙන් “ ආ මල්ලිලා රුපියල් තුන්සිය පණහයි " යැයි කීවාය.
එයින් විමතියට පත් දෙදෙනා "ඇයි? අපි ඔච්චර ආප්ප කෑවද" යි විමසු විට "තේ ගණන රුපියල් එකසිය පණහයි. මගේ පස්සට තට්ටු කළාට රුපියල් දෙසීයයි. ඔක්කොම රුපියල් තුන්සිය පණහයි. මල්ලිලා දෙන්නා ගෙවනවද? නැත්නම් පොලිසි යනවාද?" යැයි ඇය ඇසුවාය.
කිසි කතා බහක් නොමැතිව ඔවුන් දෙදෙනා රුපියල් තුන්සිය පණහ ගෙවා " මේව අපිට හොඳ පාඩම්" කියා යන්නට ගියෝය.