හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කොච්චිකඩේ පොලිසිය විසින් අද (29) උදෑසන අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා. 2006 වසරේ සිදුවූ දේපළ කොල්ලකෑමකට අදාළ නඩුවක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නිමල් ලංසා මහතා සහ මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන බන්දුල නාඔටුන්න යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මෙම නඩුවට පාදක වී ඇත්තේ 2006 මාර්තු 9 වැනි දින කොච්චිකඩේ ප්‍රදේශයේදී මීගමුව මහ නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයකුගේ නිවසට සහ වාහනවලට පහරදී රුපියල් ලක්ෂ 28ක් වටිනා දේපළ කොල්ලකෑමේ සිදුවීමකි.
අදාළ නඩුව පසුගිය අගෝස්තු 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබුණා.
ඒ අනුව අද දින අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචි බවද වාර්තා වෙනවා.