රජයේ නිලධාරීන්ට ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000/- දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර, ඊට අදාළව ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කිරීමට සහ චක්‍රලේඛ නිකුත් කිරීමට ද නියමිතය.
මීට පෙර රජයේ නිලධාරියෙකුට උත්සව අත්තිකාරම් ලෙස ලබාගත හැකි වූයේ රුපියල් 10,000/-ක මුදලකි. නව සංශෝධනයත් සමඟ එම මුදල රුපියල් 5,000/-කින් ඉහළ යනු ඇත.
තෛපොංගල්, රාමසාන්, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි, නත්තල් සහ වන්දනා ගමන් (ශ්‍රී පාද සහ හජ් වන්දනාව වැනි). මෙම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික වාරික 08කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට පෙර පියවීමට සහන සලසා ඇත.