මාතලේ සිට මහනුවර පැමිණි ගුරුවරියකට හදිසියේ දැන හැදින ගත් යුවළක් විසින් දෙනු ලැබූ යෝගට් පානයක් ඇය පානය කිරීම නිසා සිහිමුර්ජා වී ඇති අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ඇගේ රන් ආභරණ සියල්ලම රැගෙන එම යුවළ පලාගොස් තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය මහනුවර පොලිසියට කර තිබූ පැමිණිල්ල අනුව ත්‍රිකුණාමලේ සිටින ඇගේ පුතාගේ සුවදුක් බලා ඇය බස් රියෙන් එද්දී හදිසියේම දැන හැදින ගත් පුද්ගලයකු සමග කතා බහ කරමින් දැඩි හිතවත්කමක් ගොඩනගාගෙන ඇත.
ගුරුවරියට වඩා වයසින් අඩු එම පුද්ගලයා ගුරුවරියට මව මෙන් ගරුසරුව කතා බහ කර ඇති අතර වැඩි හිතවත්කමක් දෙදෙනා අතරේ තිබූ නිසා මෙම පුද්ගලයා ඔහුගේ මව වශයෙන් හඳුන්වා ගත් කාන්තාවක සමග දුරකථනයෙන් කතා බහ කිරීමට ද ගුරුවරියට අවස්ථාව ලබාදී තිබේ.
මේ අනුව හදිසියේම හඳුනාගත් මෙම ආගන්තුක පුද්ගලයාට මෙම ගුරුවරිය මාතලේ රත්තොට පිහිටි ඇගේ නිවසට පැමිණීමට ඇරයුම් කර තිබේ.
මෙම ගුරුවරිය දැකබලා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වූ සැකකරුගේ මව යැයි හඳුන්වා ගත් කාන්තාව ගුරුවරියට නුවරට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති අතර කතා බහ කළ පරිදි පසුදා මෙම ගුරුවරිය මහනුවර පැමිණ තිබෙනවා.
එහිදී ආගන්තුක යුවළ එහි පැමිණ ආගිය තොරතුරු කතා බස් කර ඇයට යෝගට් පානයක් ලබාදී ඇති අතර එහිදී ඇය සිහි මුර්ජා වී තිබේ.
මෙම සිද්ධියෙන් පසු තමා කුරුණෑගල මල්ලට පිටියේ නිවසක සිටි බව කියන ගුරුවරිය එම නිවසේ ජනේලයෙන් පැන මෙසේ පොලිසියට පැමිණි බවද හෙළිකර ඇත.